-->

Saturday, March 10, 2012

"අම්මා කියන කවි"

ඉසිඹුවක් නොමැති වැඩ කටයුතු නිසාම යමක් ලිවීම  දිනෙන් දින අතපසුව ගියත් යලිත් යමක් ලියන්නට පෙලඹුනේ අම්මාගේ කවි කතා අසා සිටි පසුවයි. අම්මා ආවම හැමදාමත් ඉතින් කවි කතා සාගරයක්. අද නම් කිව්වෙ කවි විතරයි. මේ කවි වල අයිති කාරයෝ කවුද කියල නම් අම්මට මතකයක් නැහැ. අම්මා කට පාඩමෙන් කියන කවි අමතක වෙන්නට පෙර අනිත් හැම වැඩක්ම පසෙක තබා ඒවා අකුරු කලා නම් අගෙයි කියා මට හිතුනා. ඔන්න අම්මා අද කිවූ මුල්ම කවිය:

අක්කර දෙකකි මයියොක්කා   හේන   මගේ
ඉස්සර යලේ කුරහන් තව බොහොම    අගේ
‍රැස් කර තිබූ අ‍ටු කොස් මලු කොයිද    නඟේ
බිත්තර මස් මාළු නැතිවට මොකද       හිඟේ

ඊලඟ කවිය නම් අවවාදයක් විදියට පුංචි කාලේ ඉඳල අම්මා මට සිහිපත් කළ දෙයක් ගැබ්ව තියෙන කවියක්.
නිතර නිතර ගියහොත් යම්          තැනකට
එතැන ලැබෙයි සැලකුම් අඩු      අඩු කොට
නිතර නොයමි නෑයන්වත්             දකිනට
වැතිර බොහෝ කල් නොඉඳිමි      කිසි විට

නැ‍ටුම් තෙල් හොඳටම බීවම මෙන්න මෙහෙමයි වෙන්නෙ කියල අම්මා හිනාවෙවී කියන කවියකුයි මේ:
බීපු අයට තණකොල මිනිවන්           පැදුර
ඊට ඔබින කොට්ටය රත්තන             පඳුර
අතපය මිරි කන්ට කූඩැල්ලෝ          නිතර
තනියට ලඟ දෙබර නිලමැසි කැල නොහැර

කාවන්තිස්ස රජ්ජුරුවන්ගෙ කාලේ ආව සුනාමිය ගැන අපි කවුරුත් දන්නවනෙ. මුහුද ගොඩ ගලන වෙලාවෙ ඒ ගැන පැමිණිලි කරන්න ආව මිනිස්සුන්ට කර කියා ගත දෙයක් නැති වුන රජ්ජුරුවො මෙහෙම කිව්වා කියලයි ඊලඟ කවියෙන් කියන්නෙ.
පලයල්ලා මට මේ හැටි නොකර    වද
මට කියලා මා මක්කා         කරන්නද
‍රැල ගහලා මුහුදෙන් වන දේ      නේද
කියපල්ලා මුහුදට ගොස්         අවලාද

රජ කාලේ කුල බේදය ඉතා තදින් පැවතුන බව අපි කවුරුත් දන්නවා. ආවාහ විවාහ කටයුතු වලදී එකල කුලහීන කුලීන විවාහ තබා උඩ රට පාතරට විවාහ වත් නොකෙරුන තරම්. එවන් නොගැලපුන විවාහ සේ නම් කළ විවාහයකට දෙමව්පිය කැමැත්ත විමසන විට ඊට විරෝධය පෑම පහත කවියෙන් පෙන්නුම් කරනවා.
පන්නරු පඩක්කරු කින්නරුද       පරවරු
ඊ වැදි දුරා පදු කෙවුලන් සහ         හකුරු
බෙරවා රදා ඔලි කින්නරුද           පරවරු
මුන් මිස තොපෙන් හිර අර ගන්නේ කවුරු

අදට එපමනයි.

8 comments:

  1. ලස්සන ඇඳුමක් අන්දවලා තියෙන්නේ. හොඳ වෙනසක්. කවි ටිකත් ලස්සනයි. හැබැයි තේරුම් ගන්ට ආයම පාරක් කියවන්ට ඕනි.

    ReplyDelete
  2. මේවාට තමයි බ්ලොග් පෝස්ට් කියන්නේ. අද පුවත් පතකවත් ඔය වගේ දේ සොයාගන්න අමාරුයි. අනෙක් දේ කෙටියෙන් පැහැදිලිව ඉදිරිපත් කිරීම. සමහර පෝස්ට් 550 ජාතකේ වගේ.

    ReplyDelete
  3. "අම්මා කියන කවි"....
    ජන කවිවල නොමද ආභාෂය ලැබූ කවි ටිකක් . සමහර විට මේ කවි ප්‍රාදේශීය වශයෙන් භාවිතා වූ ජන කවි වෙන්න ඇති. එහෙමත් නැත්නම් අම්මා ජන කවි ඇසුරින් නිර්මාණය කරගත් ඒවා වෙන්න ඇති. කොහොම වුණත් මේ කවිවල ජන කවියට සමීප නෑකමක් තියන බව නම් පේනවා.ඒත් මේකවි ටික කිසිඳු ජනකවි මූලාශ්‍රයක මට කියවන්න ලැබිලා නැහැ.
    ආප්තෝපදේශ කවි ලෙස ජීවිතයට වැදගත් වන කවි ටිකක්. කවිවල යටිපෙළ අරුත් ගැඹුරු දර්ශනයක්.ස්තුතියි හොඳ කවි ටිකක් අරන් ආවාට.

    ReplyDelete
  4. ඇත්තටම හරි අපූරු පෝස්ට් එකක්.. කවි ටිකත් ඒ වගේම ලස්සනයි..

    ReplyDelete
  5. ෂා... හරිම ලස්සනයි කවි ටික

    ReplyDelete
  6. පසු ගිය දවස් වල ඇක්ටිව් වෙන්න බැරි වුනා බ්ලොග් අස්සේ. ඒ වුනාට මෙහේ පෝස්ට් නොතිබුනු බව නම් නෝට් වුනා. මොනවා නැතත් උදේට රීඩරේ කියවන හින්දා ඔයාගේ පෝස්ට් එකක්වත් මගහැරෙන්න විදියක් නෑ නේ. පස්සේ මම හිතුවා ඔයා නිවාඩු ගිහින් කියලත්.

    අනේ මටත් ඔහොම කවි කියන්න අපේ අම්මා හිටියා නම්.... ?

    ReplyDelete
  7. ලස්සන වටින ලිපියක් මැණික්. ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට. අම්මා කියන ඔය වගේ කවි කතා තව තියෙනවනේ, ඒවත් අපිට කියලා දෙන්න හොඳද?

    ReplyDelete
  8. මං මේ තාම වටපිට බලනව, වැරදි බ්ලොග් එහෙකටද ආවෙ කියල

    ReplyDelete