-->

Saturday, July 6, 2013

"සංහිඳියාව කරා පියවරක්"

හුස්ම ගැනීමත් අමතකවී ඇතිදැයි සිතෙන තරමටම වැඩ කටයුතු ගොඩ ගැසුනත් නින්දට පෙර සුලු මොහොතක් හෝ මා ප්‍රිය කරන පොතක පි‍ටුවක් දෙකක් නොකියවුවොත් එදිනට මට නින්ද ලඟා නොවේ. සිත නිවෙන අදහස් ගොන්නක කිමිඳීමට ඉඩ හසර සලසන එවන් පොත පත, සුවදායී නින්දක් ලබන්නට පමණක් නොව යලි උදෑසන නැවුම්ව පුබුදුවාලන්නටද මහත් මෙහෙයක් ඉ‍ටු කරයි.
මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් විසින් "සංහිඳියාව කරා පියවරක්" ලෙස පරිවර්ථනය කරනු ලැබූ  තිච් ඤතාන් (Thich Nhathanh) යතිවරයානන් විසින් රචිත LA SERENITE DE L'INSTANT නම් කෘතිය මේ දිනවල මගේ අත ගැවසෙයි.
පොත පටන් ගන්නේ
"ආශ්වාස කරන්න! ඔබ ජීවමානයි!
යන වැකියෙනි. එහි පි‍ටු අංක 79හි "සැබෑ ආදරය" යන තේමාවෙන් මෙවැන්නක් කියයි.

"අප සැබෑ ලෙසින්ම අප විසින් ආදරය කරනු ලබන පුද්ගලයා හඳුනා ගතයුතු වන්නේය. අපගේ ආදරය අයත්කර ගැනීමේ ආශාවක් පමණක් නම් එය ආදරය නොවන්නේය. අපි අප ගැන පමණක් සිතමු නම්, අප අපගේ අවශ්‍යතා ගැන පමණක් දනිමු නම්, අනිත් පුද්ගලයාගේ අවශ්‍යතා, නොතකා හරින්නේ නම් අපට ආදරය කළ නොහැක්කේය. අප ආදරය කරන පුද්ගලයාගේ අවශ්‍යතා, අභිලාෂයන් සහ දුක දැකීමට සහ අවබෝධ කර ගැනීමට ගැඹුරින් බැලිය යුතුය. සැබෑ ආදරයේ පදනම වන්නේ එයයි.
විටින් විට ඔබ ආදරය කරන තැනැත්තා හෝ තැනැත්තිය ඉදිරියෙන් අසුන් ගන්න. ඔහුගේ හෝ ඇගේ අත අල්ලාගෙන මෙසේ විමසන්න. "සොඳුර (සහෘදය) මම ඔබ හොඳින් හඳුනමිද? එහෙමත් නොමැති නම්, මම ඔබ දුකට පත්කරම්ද? කරුණාකර මට කියන්න. එවිට මට ඔබට වඩා හොඳින් ආදරය කරන්නට ඉගෙන ගත හැකිය. මට ඔබට දුකක් දීමට වුවමනා නැත. මා එසේ කරති නම් ඒ මගේ නොදැනීම නිසාය. අනේ මට කියන්න. එවිට මට ඔබට වඩා හොඳින් ආදරය කළ හැකිය. ඔබට සතුට ගෙන දෙන්නට එවිට මට පුළුවන් වන්නේය." ඔබගේ අවබෝධ කර ගැනීමට තිබෙන විවෘතකමින් යුතු හඬකින් ඔබ මෙය සන්නිවේදනය කරන්නෙහි නම්, අනිත් තැනැත්තා හෝ තැනැත්තිය හඬන්නේය. එසේ නම් එය හොඳ ලකුණකි. එහි අදහස නම් අවබෝධයේ දොර‍ටුව විවර වෙමින් පවතින බවත්, සියල්ල නැවත සිදුවන්නට හැකිවන බවත්ය."

ඔබත් ඔබේ සමීපතමයන්ගේ වැරදි අඩුපාඩුකම් වලට දොස් පවරමින් සිටින්නෙක්ද?  "දොස් කීමෙන් පලක් නැත" යනුවෙන් එහි (පි‍ටු අංක 77) මෙසේ සඳහන් වේ.
"ඔබ සලාද ගසක් පැළ කල කල එය හොඳින් නොවැඩේ නම්, ඔබ සලාද පැලයට චෝදනා නොකරන්නෙහිය. ඔබ එය හොඳින් නොවැඩෙන්නට හේතු සොයන්නෙහිය. ඊට පෝර, ජලය හෝ හිරු එලිය අඩුවෙන් ඕනෑ වන්නට ඉඩ තිබේ. ඔබ කිසිදාක සලාද පැලයට වරද නොපටවන්නෙහිය. අපට අපගේ මිතුරන් සහ පවුලේ ගැටළු තිබේ නම් අපි අනිත් පුද්ගලයාට චෝදනා කරමු. එහෙත් ඔබ ඒ අය සම්බන්ධව "පවතින්නට දන්නෙහි නම්", සලාද පරිද්දෙන්ම ඒ අයද හොඳින් වැඩෙන්නෝය. චෝදනා කිරීමෙන් සාධනීය ඵලයක් ලබාගන්නට නොහැක්කේය. එමෙන්ම විවාදය, තර්කනය තුළින්ද ඵලයක් නොලැබෙන්නේය. අවබෝධ කර ගැනීම පමණක් වැදගත් වන්නේය."

ඔබේ සලාද පැල වලින් කීයක් දැනටමත් මලානිකවී ඇතිදැයි සිතා බලන්න. සමහර ඒවාට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන්ද සමහර ඒවාට අඩුවෙන්ද ඔබ පොහොර, ජලය සහ හිරු එලිය ලබාදී නොමැතිද? ඒ ඒ සලාද පැලයට ඒ ඒ ආකාරයෙන් පවතින්නට අපි ඉගෙන ගත යුතු වෙමු . ඒවාට අවශ්‍ය තරමට පමණක් අවබෝධයෙන් යුතුව පොහොර, ජලය සහ හිරු එලිය ලබා දෙමු.

7 comments:

  1. පොස්ටුවනම් බොහොම අසාවෙන් බැලුවා මැණික්..ඒ උනාට ආදරය කියන දේ ගැන සහ එහි භාවිතාව ගැන නිර්ණායකයක් දෙන්න බැහැ නේද ...?

    එහෙම දුන්නත් මේ පෝස්ටුවේ සඳහන් පරිදි නිර්වචනයක් ( හෝ උපදෙසක් වැනි දෙයක්.එහෙමත් නැත්නම් අදහසක් ) නම් දෙන්නම බැහැ කියලයි මට හිතෙන්නේ..


    ( මේක ඔබට කල දෝෂාරෝපණයක් සේ නොසලකන්න මැණික් )

    ReplyDelete
    Replies
    1. මේ අදහස් මගේ නොවෙයි. එය කතුවරයා ඉදිරිපත් කරන අදහසයි. "ආදරය" ට ඇත්තේ එකම එක නිර්වචනයක් නොවූවත් මෙහි දක්වා ඇත්තේ "සැබෑ ආදරය" ගැන නොවේද? එය අපට නිතර පෙනෙන දකින දේට වඩා වෙනස් අරුතක් ගෙන එයි. කෙනෙක් දක්වන අදහසක් දෝෂාරෝපණයක් සේ මම කිසි විටක නොසලකමි. කිසියම් දෙයක් සඳහා හැම කෙනෙකුම එකම මතය දැරිය යුතු යැයි මම නොසිතමි. ඔබට බොහෝමත් ස්තුතියි.
      මැණික්

      Delete
  2. මම මේ වියට්නාම් ජාතික හිමියන්ගේ පොත් කීපයක් කියවා තියෙනවා මැණික්. ඒ අතරින් මේ පොත මට කියවන්න ලැබුනේ නෑ. හරිම වටිනවා මේ කියමන. අපි හුඟ වෙලාවට පුරුදු වෙලා තියෙන්නෙ අනෙක් අයටම දොස් කියන්නම තමා. අපි හේතුව බැලුවාම අපිම තමා ඒකට මුල වෙන්නෙ. අපි හැම දෙයම ඉවසාදරා ගත්තාම ගැටලු ඇත්තේම නෑ. අනෙක් කෙනා දෙස යම්විදිහකින් අලුතින් හිතන්න ගත්තාම එතන සංහිදියාව තියෙනවා. පුලුවන් නම් Old Path White Clouds: Walking in the Footsteps of the Buddha කියවන්න. හරිම අලුත් අත්දැකීමක් ගෙනේවි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දි. ඔයා කියන පොත ebook එකක් විදියට තියනව නම් download කර ගන්න බලන්නම්. දවසින් දවස අලුතෙන් සිතීමෙන් තමයි ජීවිතය අලුත් වන්නේ.
      මැණික්

      Delete
  3. ටිකක් අපූරුකෘතියක් වගේ.. සමානයයෙන් කෙනෙක් දකින පැත්තට වඩා බාහිර දැකිමක් ..මේ හරහා අපිට අපිවම නැවත ප්‍රශ්ණකරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අපි අපිවම ප්‍රශ්න කිරීම තමයි වැදගත්. අපේ දුර්වලකම් දකින්න හැකි නම් මොහොතක් පැමිනේවි අපිටම අප ගැන හිනායන.
      ස්තුතියි ඔබටත්.
      මැණික්

      Delete
  4. Pretty portion of content. I simply stumbled upon
    your web site and in accession capital to claim that I acquire actually loved account your blog posts.
    Anyway I will be subscribing for your augment or even I success you access persistently quickly.


    Here is my web page a (http://www.purchaseadd.org/)

    ReplyDelete