Monday, September 23, 2013

"බොහොමත්ම ස්තුතියි"

අවුරුදු තුනහමාරක්ම නොනමින් වල්පල් ලිව්වා ඇති කියලයි හිතිල තියෙන්නේ. මුල් කාලේ නම් ලිව්වෙ හරිම කැමැත්තෙන්. මෙහෙම ලියන එක මුල් කාලෙදි අළුත් අත්දැකීමක් වුනා. ඉතින් හිතට එන එන දේ ඔහේ ලියාගෙන ගියා. මුලින්ම මගේ නියම නමින්ම ලියන්න පටන් ගත්තත් වැඩි දෙනෙක් නොනමින් ලියනවා දැක්කම මමත් ඒ ක්‍රමයම අනුගමනය කළා.  ඉතින් ඇයි නොනමින් ලියන්නෙ? ලියන දේ කියවූ දන්නා හිතවතුන් විටෙක විමසුවා. නොනමින් ලියන්නෙ ඇයි කියල මටත් හිතුනා. පළමු කරුණ වුනේ ලියන දේ ගැන හොඳ නරක අදහස් දැන ගන්න එයින් හැකියි කියල මට හිතුන නිසා. ලිවීමට ආධුනිකයෙක් නිසා ලියන ශෛලිය දියුණු කර ගැනීමට එය වඩා හොඳ මගක් කියලත් මට හිතුනා. අනිත් අතට නියම නමත් එක්ක බැඳුනු අට අනූවක් විච්චූරන නැතිව "මම" යැයි මා තුල සිටින්නා පමණක් ඉස්මතුවීම ඉන් සිදු කළ හැකි යැයි මට හිතුනා. ඉතින් මගේ බොලඳ මෝඩ අදහස් වගේම පණ්ඩිත කියල හිතාගෙන ලිව්ව මෝඩ අදහසුත් හැම කෙනෙක්ම කියවන්න ඇති. මම දැක්කා ලිවීමෙන් මම වගේම කියවීමෙන් අනිත් අයත් යම් තරමකට සතු‍ටු වුනා කියල.
සමහර වෙලාවට මම දුක් වුනා ලිව්ව දේ කියවූ අයට අදහස් දැක්වූ අයට පිළිතුරු සපයන්න වෙලාවක් හොයා ගන්න බැරිවීම ගැන. ඒ වගේම ඉඩ ලැබෙන වෙලාවක අනිත් අය ලියා ඇතිදේ උඩින් පල්ලෙන් කියවා සටහනක් නොතබා යාමට සිදුවීමත් මා ලියන දේට අදහස් දක්වන අයට කරන අයුතු දෙයක් කියල නිතරම හිතුනත් කාලය එක්ක සටනක ඉන්න කොට ඊට වඩා දෙයක් මට කරන්න හැකි වුනේ නැහැ.
ඒත් නොනමින් ලියනවා කියල හිතුවත් මේ ඩිජිටල් පද්ධතිය තුල සැරි සරන අපි කවුරුත් සාමාන්‍ය ජීවිතයේදීටත් වඩා අනාවරනය වෙන බව බොහෝ අය දන්නෙ නැහැ. අපි හිතන පතන පිළිවෙල අපි කැමතිදේ අපි වඩාත් ගනුදෙනු කරන අය එක මොහොතකින් මේ ඩිජිටල් ලෝකය තුල පහසුවෙන් සොයා ගන්න හැකියි. අවශ්‍ය වෙන්නෙ දැනුම පමණයි. ඉතින් ඒ නිසා මම දන්නවා මම ඉන්නෙ නොනමින් කිව්වට ඒක එහෙම නොවන බව. දන්නෝ දනිති.
ඉතින් අවුරුදු තුනහමාරක්ම නොනමින් වල්පල් ලිව්වා ඇති. ආයෙමත් දවසක නියම නමින්ම එන්නම්. නොකියාම යනවට වඩා නොදු‍ටු හිතවතුන්ගෙන් සමුගෙන යාම හොඳයිනේ.  ඔබේ දයාබර දිරි ගැන්වීම් වලට බොහොමත්ම ස්තුතියි. ඉතින් එහෙනම් යන්න අවසරයි!!!.

24 comments:

  1. ස්තූතියි....නැවත එන්න.

    ReplyDelete
  2. ලියන්නාගේ නම හෝ නො නම වැදගත් වන්නේ සීමිත දෙනෙකුට පමණයි. කොටින්ම මා ඔබ කවදාවත්ම දැක නෑ. මා ඔබ සමඟ ඊ මේල් ගණුදෙණුවක් හෝ වී නෑ. ඒත් මම ඔබව දන්නවා. මම ඔබට සමීපයි. ඔබගේ වචන අස්සේ මම ඔබව හොයාගෙන ඔබව පස්සේ එනවා. ඒකට ඔබේ හමේ පාට, ඔබේ නම, ඔබගේ වයස මට වැඩක් නෑ.
    ගියාට කමක් නෑ ඔබ ආයේ එන හින්දා. එහෙම නොවෙනවා නම් ඒක ඔබ ඔබටම කරගන්නා රැවටීමක්.
    ආයෙත් ඉක්මනට හමුවෙන්න බලාගෙන ඉන්නවා මෙවන් සටහනකින්ම....

    ReplyDelete
    Replies
    1. ඔව් රංගී. නම නොවෙයි ලියන දේ තමයි වැදගත් වෙන්නෙ. ඒත් මම දැක්කා සමහර අවස්ථාවල නොනමින් ලියන එක ගැන එක එක මත පලවී තිබුනා. මමත් ඔබව හඳුනනවා. ඒ ඔබ ලියන දෙයින්. ස්තුතියි නිතර ආවාට.

      Delete
  3. හොඳයි, ගිහින් ඉක්මනින් නැවත එන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ දිරිගැන්වීම් වලට.

      Delete
  4. මමත් ගිහින් ආයි ආපු කෙනෙක්නේ. ඒත් ඒ හිටපු නමින්මයි. ඒකට කමක් නෑ, ඔයා කැමති නමකින් ආයෙත් එනකල් අපි බලාගෙන ඉන්නවා. ඔයා ලියන විදිහෙන් එදාට ඒ ඔයාද කියලා අඳුනගන්න පුළුවන්වෙයිද කියලා බලන්නම්කෝ. ආයෙත් සන්තුරී වගේ සුන්දර චරිතයක් මවන්න කියලත් ඉල්ලා හිටිනවා. සුභ නිවාඩුවක්! :)

    ReplyDelete
    Replies
    1. නම් නිසාම නෙවෙයි මට ලිව්ව ඇති කියල හිතුනා. කොහොම ආවත් මගේ ඇතුලාන්තය තමයි ලියවුනේ. ම්.. තාමත් සන්තූරිව මතකයි වගේ. ඒ කාලෙ හරිම සුන්දරයි. මමත් හරි ආසාවෙන් ලිව්වෙ. නැවත එන්න බලන්නම්.

      Delete
  5. Replies
    1. හ්ම්.. හ්ම්... බලන්නම්කෝ. ස්තුතියි.

      Delete
  6. දැන් බලන්න සහන් කියන කෙනා ගැන කිසිම කෙනෙක් කිසිම දෙයක් දන්නේ නැහැ.. මොන තරම් හෙව්වත් හොයන්න බැහැ.. ( හැබැයි වචන 5 න් මට මන් ගැන කියන්න පුළුවන්.. ) නමින් හෝ නොනමින් ලියන්න මැණික්.. ආයේ ගිහින් එන්න දෙයක් නැහැ.. ඔයා චන්ද්‍රිකා කුමාරතුංග උනත් අපිට අවුලක් නැහැ... මන් නම් කියන්නේ යන්න දෙයක් නැහැ... ආව එකේ දිගටම ඉන්න...

    ReplyDelete
    Replies
    1. හපෝ මම චන්ද්‍රිකා කුමාරතුංග නම් නෙවෙයි. දැන් ලිව්වා ඇති වගේ හිතෙනවා. ගොහින් එන්නම්කෝ ආයෙ කවදක හරි.

      Delete
  7. ඉක්මනින් එන්න. නමින් එන එක හොඳ යි කියල යි මමත් හිතන්නේ. මොකද එතකොට ලියන කෙනාට තමන් ලියන දේ ගැන විශ්වාස යි.

    ReplyDelete
    Replies
    1. ලියන දේ ගැන නම් මට කිසි අවිශ්වාසයක් නැහැ. මැණික් කියන්නෙත් ඉතින් නමක්නේ. ස්තුතියි.

      Delete
  8. මමත් ඉඳහිට හෝ කියවන බ්ලොගයක් මෙය. කීප වතාවක් අදහස් දක්වලත් ඇති. මගේ නම් අදහස, හඳුනාගැනීමට යම් නාමයක් තිබුණහම ඇති, නියම නම ද නැද්ද යන්න වැදගත් නැහැ. අනික තමයි, සතියකට, මසකට මේ මේ ප්‍රමණයක් ලිවිය යුතුයි කියලා නියමයක් නැති මේ වගේ නිදහස් ස්ථාන වල ඇති නිදහස උපරිමයෙන් විඳින්න. හැකි විටක ලියන්න. මොකද අපේ සිතුවිලි කවදාවත් ඉවර වෙන්නෙ නැහැනේ. අවශ්‍ය නම් විරාමයක් ගන්න. කවුරු කියෙව්වත් නැතත්, තමන්ගේ සිතුවිලි කාලෙකට පස්සෙ නැවත කියවන්න ලැබීම, තමන්ටත් ඉතා සතුට ගෙනදෙන දෙයක්.

    ReplyDelete
  9. ස්තුතියි තිසර. ඔයාල වගේ අය නිසා තමයි නිතරම මට ඉඳහිට හරි ලියන්න ඕනෙ කියල හිතුනේ. නම කියන එක වැදගත් නැහැ කියන එක මමත් දන්නවා. බලමු ආයෙමත් කාලයකට පස්සෙ ලියන්න හිතුන දවසක එන්නම්කෝ.
    මැණික්

    ReplyDelete
  10. අයියෝ............ :-(
    ඇයි එහෙම කරන්නේ....
    මොකක් හරි නමක් තිබ්බම මේ අහවලා කියල හිතෙනව - එයාට අයිති සිතුවිළි ධාරාවකුත් ඒ එක්කම මතක් වෙනව
    ඒ ඇති හොඳටම
    ලියන එක ඉඳහිට වුණත් කමක් නෑ ලියන්න - ඇපි හැමෝම උස් පහත් වෙන සිතුවිලි එක්ක දවස ගෙවන උදවිය
    තව කෙනෙක්ගේ සංඛ්‍යාතයක් එක්ක ඒවා සුසර වුණහම සතුටක් දැනෙනව - අන් අයගේ ඒ සතුට වෙනුවන්වත් ලියන්න

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ ආයෙමත් එන්නම්. මදැයි ... සමු අරන් යන්න හිතුවා.හොරෙන්ම යන්නයි තිබුනේ. :). ඔබ ලියූ දේවල් මම හැමදාම ආසාවෙන් කියෙව්වා.
      මැණික්

      Delete
  11. මම අස්වැන්න ලියල ටෙස්ට් එකක් විදියට පේලි දෙකක් ලියල දැම්මා හරියටම කිව්වොත් වචන හයයි අකුරු නම් විස්සයි. ඒකට මුලින්ම කමෙන්ටුවක් ලියල මාව දිරිගැන්වූ ඔබ ගේ අගනා වදන් වැල බ්ලොග් එකට එන හැම මොහොතකම සිහිවෙනවා.ඒකෙ අන්තිමටම ලියල ඔබ තිබුනේ "මම මැණික්" කියල. ඒ දිරිගැන්විම අදටත් මතකයි.

    ඔබ මෙතෙක් කල් ලියල තිබුණ හැම එකක්ම තර්කානුකූලව හිතන්න පුලුවන් ඒවා. ලියපු කෙනාට වඩා ලියපු දේ වැදගත්. ප්‍රසිද්ධ නවකතා ලියන මගේ යෙහෙලියක් ඉන්නවා. ඇය බෙහෙවින්ම වයසයි. ඒත් ඇය යොදාගෙන තියෙන්නේ ආරූඪ නමක් ඒ නමින් ඇය ජනප්‍රියයි.

    ආයෙමත් එන්න.... සුබපැතුම්..

    ReplyDelete
    Replies
    1. ඔව්... මටත් මතකයි ඒ ගැන. ඉන් පසුව ඔබේ සටහන් වලට කමෙන්‍ටු ගොඩක් වැටිල තියනව දු‍ටුවම සතු‍ටු හිතුනා. ඔබේ ලිපි කවදත් අපූරුයි. ඒ වගේම එයින් සංගීත ලෝකය ගැන නොදන්නා බොහෝ දේ උගත හැකියි. ස්තුතියි.
      මැණික්

      Delete
  12. හුඟ කාලෙකින් ආයේ බොලොග් බලන්න ආවේ.. එත් එතකොට ඔයා යනවලු.. කමක් නෑ ගිහින් ඇවිත් ඉක්මනට ලියන්න..නොබලපු පරන ලිපි එතකම් බලන්නම් යාළු

    ReplyDelete
  13. ආයෙ එන බලාපොරොත්තුවෙන් යන ගමනක් නිසා ගිහින් එන්න. සාන්තුරී, රතු ඉරි කමිසය වගෙ හිත ටළඟ ඒ සිතුවිලිත් එක්කම

    ReplyDelete
  14. බලා හිඳිමු දුර ඈතක ඇයි ඔබ අප රඳවා පියවර මැන්නේ....?
    :-(

    ReplyDelete
  15. ආපහු එන්න කාලෙ හරි වගේ හිතෙන්නැද්?

    ReplyDelete